අත්තනගල්ල හා රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්ට අයත් ඉඩම් පාදක කොට ගෙන ඉදිවන බස්නාගොඩ ජලාශය ඉදි කිරිම හේතුවෙන් අවතැන් වන පවුල් සඳහා වන්දි ලබා දිමේදී පැන නැඟුනු ගැටලු සම්බන්ධව සාකච්ඡාවක් ඊයේ (10) වන පස්වරුවේ දි දිස්ත්‍රික් ලේකම් කාර්යාලිය ශ්‍රවනාගාරයේ දි පැවැත්විණි.


මෙම ජලාශය ඉදි කිරිම හේතුවෙන් ජලයෙන් යට වන භූමි ප්‍රමාණය හෙක්ටයාර් 115ක් පමණ වේ. මේ වන විට රුවන්වැල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයෙන් ඉඩම් කට්ටි 536ක් රජයට අත්පත් කර ගෙන ඇති අතර බස්නාගොඩ ජලාශය ඉදිකිරිම නිසා පීඩාවට පත් වන පවුල් සංඛ්‍යාව 168ක් ද ,පදිංචි ස්ථානවලින් ඉවත් කරන පවුල් ගණන 62ක් ද පමණ වේ.


ඒ අනුව අවතැන් වන පවුල් සඳහා ඉඩම් තක්සේරු මුදල් ප්‍රකාශ වි ඇති අතර අනවසර හා වාර්ෂික අවසර පත්‍ර ඉඩම් සඳහා සංවර්ධන වටිනාකම් තිරණය වි ඇත.එහෙත් එම ප්‍රකාශිත වන්දි මුදල වත්මන් වෙළඳ පොළ වටිනාකම හා සැලකිල්ලට ගැනීමේ දි කිසිසේත්ම ප්‍රමණවත් නො වන බැවින් ඒ සඳහා ජනතාව තෘප්තිමත් වන ආකාරයේ වන්දි මුදල් හා අනෙකුත් අවශ්‍යතා ලබා දිම සඳහා එළඹෙන 18 වන දින අදාල රේඛීය අමාත්‍යංශ හා එක්ව අවසන් එකඟතාවයකට පැමිණිමට ඊයේ රැස් වු කමිටුවේ දි තීරණය විය.


මෙම අවස්ථාවට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපතිනි රාජිකා වික්‍රමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් මංජුල, හිටපු පළාත් සභා මන්ත්‍රී හර්ෂ සියඹලාපිටිය, අතිරේක දිස්ත්‍රික් ලේකම් ( පාලන) චරිතා ඉලංගකෝන්, අතිරේක දිස්ත්‍රික් ලේකම් ( ඉඩම් හා සංවර්ධන) දිනීෂා එස් රත්නායක, ඉඩම් අමාත්‍යංශයේ අතිරේක ලේකම් ඊ.ඒ.ආර් රේණුකා, රුවන්වැල්ල ප්‍රාදේශිය ලේකම් මොහාන් විජේරත්න යන මහත්ම මහත්මින් ජල සම්පාදන අමාත්‍යංශයේ හා ඉඩම් අමාත්‍යංශයේ නිලධාරීන් ඇතුලු පිරිසක් එක්ව සිටිය හ.