දොළොස්බාගේ කඳුවලින් ආරම්භ වී කොච්චිකඩේ ප්‍රදේශයෙන් මුහුදට වැටෙන සුන්දර මා ඔය කි.මී 134ක් දුරට ගලා බසිනවා. විශාල ජල කඳක් මහ මුහුද වෙත රැගෙන යන මෙම ඔය කඳුකරයේ සිට පහළට වැටෙන්නේ අරණායක ප්‍රදේශයේ පිහිටා තිබෙන අසුපිනි ඇල්ල හරහා යි. අඩි 100ක පමණ උසකින් පිහිටා තිබෙන මෙම දිය ඇල්ල දුටුවන්ගේ සිත් මෝහනය කරනවා. 

 

ගමන් මාර්ග 

මෙම රමණීය දිය ඇල්ල නැරැඹීමට යාම සඳහා ප්‍රධාන මාර්ග දෙකක් තිබෙනවා. ඉන් පළමුවැන්න කොළඹ සිට මාවනැල්ලට පැමිණ, මාවනැල්ල නගරයේ සිට අරණායක දක්වා පැමිණ, එතැන් සිට හොරේවල දෙයියන්වල හරහා නාත්තාකන්ද උඩුවැල්ල පාරේ දන්තැල්ගොඩ ඔය පසු කරමින්, උඩුවැල්ල- නාත්තාකන්ද දෙසට විහිදෙන අඩි පාරේ තවත් කිලෝමීටර් එක හමාරක් පමණ ගමන් කර ඇල්ල වෙත ළඟාවීම යි. එවිට අඩි 100ක් පමණ උසක සිට පහළට වැටෙන ඇල්ල නිරීක්ෂණය කළ හැකියි. දිය ඇල්ල නැරඹීම සඳහා ඇති අනිකුත් පිවිසුම වන්නේ, ගම්පොළ නගරයේ සිට වැටී ඇති මාර්ගය යි. ගම්පොළ නගරයේ සිට කුරුඳුවත්ත නගරය දක්වා කිලෝමීටර් 8ක් පමණ ගමන් කර, දොළොස්බාගේ දක්වා වැටී ඇති මාර්ගයේ කිලෝමීටර් 4ක පමණ දුරක් ගමන් කර, දකුණු පසින් ඇති  වැටකේදෙනිය-උඩුවැල්ල මාර්ගයේ උඩුවැල්ල නගරයට යා යුතු යි. එතැන් සිට කිලෝමීටර් 2ක පමණ දුරක් ගිය පසු අසුපිනි ඇල්ල වෙත  ළඟා විය හැකියි. එලෙස අසුපිනි ඇල්ල වෙත පැමිණෙන සංචාරකයෙකුට පහළට කඩා වැටෙන ඇල්ල නැරඹිය හැකියි. බොහෝ දෙනකු සංචාරය කිරීම සඳහා තෝරාගන්නේ මේ මාර්ගය යි. එයට හේතුව වන්නේ වාහනයකින් ඇල්ල අසලටම ගමන් කළ හැකිවීම යි.

අසුපිනි ඇල්ල බැලූ බැල්මට සුන්දර දිය ඇල්ලක් වුණත් ඒ ආශ්‍රිතව පසුගිය දශක කිහිපය තුළ මරණ 15ක් පමණ වාර්තා වී තිබෙනවා. එම මරණවලට හේතුව දිය ඇල්ල ආශ්‍රිතව පවතින අනතුරුදායක තත්ත්වය යි. ඇල්ල පාමුල පිහිටා ඇති “මිනීකඳවල” නම් ස්ථානය මිනිසුන් බිලිගන්නා තැනක් බවට ජනප්‍රවාදයක් පවතිනවා. ඊට අමතරව මෙම අලංකාර දිය ඇල්ල වටා ගෙතුනු ජනප්‍රවාද රැසක් තිබෙන බව බොහෝ ප්‍රසිද්ධ කාරණයක්. අසුපිනි ඇල්ලට එම නම ලැබුණු ආකාරය පිළිබඳවත් ජනප්‍රවාදයන් දෙකක් තිබෙනවා.

වලගම්බා රජතුමා සම්බන්ධ ජනප්‍රවාදය 

ක්‍රි.පූ 103 දී වලගම්බා රජතුමා අනුරාධපුර රාජධානියේ පාලකයා බවට පත්වුණා. ඔහුගේ රාජ්‍ය සාමය ආරම්භ වී ටික කලකින් දකුණු ඉන්දීය ආක්‍රමණිකයන් පිරිසක් අනුරාධපුර රාජධානිය ආක්‍රමණය කළා. වලගම්බා රජතුමා සිය ජීවිතය බේරාගැනීම සඳහා වනයට පළා ගොස්, විවිධ ප්‍රදේශවල සැඟවී සිටියා. එම රජතුමා කෑගල්ල ආශ්‍රිතවත් තැන් කීපයක වාසය කළ බව කියැවෙනවා. කෑගල්ලට එම නම ලැබුණේත් වලගම්බා රජතුමා සම්බන්ධ කතා පුවතක් නිසා යි. 

මෙසේ ආරක්ෂිතව සැඟව සිටි වලගම්බා රජතුමා දිනක් අසු පිටින් දිය ඇල්ලක් තරණය කළ බව ජනප්‍රවාදයේ සඳහන් වනවා. එදා රජතුමා විසින් තරණය කර ඇත්තේ අරණායක ප්‍රදේශයේ පිහිටා ඇති මෙම දිය ඇල්ල යි. අශ්වයා ඇල්ල හරහා පැනීම හේතුවෙන් “අසු පැනි ඇල්ල” යන නම පටබැඳුණු මෙම ඇල්ල, පසු කලෙක අසුපිනි ඇල්ල බවට පත්වුණා. 

කුමාරිකාවන් තිස් දෙනා සම්බන්ධ ජනප්‍රවාදය

එක්තරා රජ කෙනෙකු සතුරා සමග සටනට යාමට පෙර සිය බිසෝවරුන් තිස්දෙනා අසුපිනි ඇල්ල සමීපයේ පිහිටි ගල් ගුහාවක රඳවා තැබුවා. එම ගල් ගුහාව අදටත් “තිස් කුමාරි ලෙන” නමින් හඳුන්වනවා. එදා රජතුමා සටනට යාමට පෙර සිය බිසෝවරුන්ට පවසා සිටියේ ඔහු යුද්ධයෙන් ලබාගන්නා ප්‍රතිඵලය ගැන දන්වා පණිවිඩකරුවෙකු එවන බව යි. තමා යුද්ධයෙන් ජයග්‍රහණය කළොත් පණිවිඩකරුවා සුදු කොඩියක් රැගෙන එන ආකාරයත්, පරාජය වුණොත් කළු කොඩියක් රැගෙන එන ආකාරයත් පිළිබඳව දැනුවත් කළ රජතුමා සටනට පිටත්ව ගියා. 

එම සටනින් රජතුමා බලාපොරොත්තු වුණු ආකාරයටම ජය ලැබුවා. ඔහු ලබාගත් ජයග්‍රහණය පිළිබඳව සිය බිසෝවරුන්ට දැන්වීමට භාර කළේ හත්ගම්පල නම් ගමෙහි කොඩිකරුවාට යි. එදා බීමතින් සිටි කොඩිකරුවා වැරදීමකින් කළු කොඩිය ඔසවාගෙන පැමිණි බව ජනප්‍රවාදයේ සඳහන් වනවා. එසේම බිසෝවරුන්ට විහිළුවක් කිරීමට සිතාගත් රජතුමා කොඩිකරුවාට කළු කොඩියක් රැගෙන යාමට අණ කළ  බවට ද මතයක් පවතිනවා. රජතුමා පිටත්ව ගොස් දින කිහිපයක් ගතවුණු නිසා පණිවිඩකරුවාගේ පැමිණීම අපේක්ෂාවෙන් සිටි බිසෝවරු තිස් දෙනා ඇල්ල මුදුනේ පිහිටි ගල් තලාවට වී සිටියා. 

එවිට ඈතින් එන පණිවිඩකරුවා බිසෝවරුන්ගේ නෙත්වලට හසුවුණත් ඔහු රැගෙන ආවේ පරාජය සලකුණු කළ කළු කොඩිය යි. එය දැකීමෙන් මහත් ශෝකයට පත්වුණු බිසෝවරුන් තිස් දෙනා ඇල්ලෙන් පහළට පැන දිවි නසාගත් බව කියවෙනවා. පසුව ජයග්‍රාහී ලීලාවෙන් සිය බිසෝවරුන් බැහැදැකීමට පැමිණි රජතුමාට, සිදුව ඇති විනාශය පිළිබඳව දකින්නට ලැබුණා. එයින් කම්පාවට පත්වුණු රජතුමා අසුපිට සිටියදීම ඇල්ලෙන් පහළට පැන දිවි නසාගත් බව ජනප්‍රවාදයේ සඳහන් වනවා. එදා රජතුමාගේ අශ්වයා පැන්න ඇල්ල පසු කලෙක අසුපිනි ඇල්ල නමින් වෙනස් වුණු බව ද කියවෙනවා. 

අද මිනීකඳවල යන නමින් හඳුන්වනු ලබන්නේ, ජනප්‍රවාදයට අනුව එදා මරණයට පත්වුණු බිසෝවරුන්ගේ මිනී පැමිණ ගොඩ ගැසූ ස්ථානය යි. අදටත් ඇල්ලේ ඉහළ කෙළවර ජල පහරට බිළිවන පුද්ගලයන්ගේ සිරුරු රැඳෙන්නේ මෙම ස්ථානයේ යි. මිනීකඳවල පිළිබඳව ගොඩනැගුණු තවත් ජනප්‍රවාද කතාවක් තිබෙනවා. ඒ, මෙහි සිටින රන් ආඳෙකු පිළිබඳව යි.

 

රන් ආඳා පිළිබඳව ජනප්‍රවාදය

මිනීකඳවලෙහි වතුර තද කළු පැහැතියි. ඒ ආශ්‍රිතව රන් ආඳෙකු සිටින බවට විශ්වාසයක් ගම්මුන් අතර පවතිනවා. ඔවුන්ගේ විශ්වාසයට අනුව ආඳා ජලයෙන් ඉහළට පැමිණෙන්නේ එක්තරා කාලයක දී පමණ යි. එවිට ඇල්ල තුළින් කම්පිත හඬක් නැගෙන බව පැවසෙනවා. එම හඬ නිකුත් වන්නේ මිනිස් බිල්ලක් ලබාගැනීමට ආසන්න වුණු විට දී බව ගම්මුන්ගේ මතය යි. එහි සත්‍ය අසත්‍ය බව කුමක් වුණත් අද වන විට අසුපිනි ඇල්ල විශාල ජීවිත ප්‍රමාණයක් බිළිගෙන අවසන්. 

 

නිධානයක් පිළිබඳව පවතින ජනප්‍රවාදය 

අසුපිනි ඇල්ල සම්බන්ධයෙන් ජනප්‍රවාදයේ පවතින තවත්  රසවත් කථාවක් තිබෙනවා. එම කතාවට එක්තරා අනුව එක්තරා රජ කෙනෙකු සතුරු කරදරවලින් බේරිම සඳහා මෙම ඇල්ල ආසන්නයේ පිහිටා තිබුණු  ලෙනක වාසය කළේ සිය පුරෝහිතයා සමග යි. එහි වාසය කළ රජතුමා රන් ඇඳක් සහ රන් පුහුල් හතක් තබාගෙන සිටි බව ජනප්‍රවාදයේ සඳහන් වනවා. පසු කලෙක රජතුමා එතැනින් ඉවත්ව ගිය පසු එම වස්තු එහි තැන්පත් වී නිධානයක් වුණු බවට මතයක් පවතිනවා. සමහර ගම්මුන් විශ්වාස කරන්නේ එම නිධානය තවමත් එහි පවතින බව යි. බොහෝවිට එම සිද්ධියට සම්බන්ධ රජතුමා වලගම්බා බව අනුමාන කළ හැකියි. එම රජතුමා අරණායක ප්‍රදේශය ආශ්‍රිතව සැඟවී සිටීම එයට හේතුව යි.

පිහිටීම

 

උපුටා ගැනීම - https://pwa.roar.media/sinhala/main/travel/folklore-about-asupini-falls