පෙබරවාරි 4 වන දින පැවැත්විමට නියමිත 74 වන ජාතික නිදහස් දින උත්සවයේ කෑගල්ල දිස්ත්‍රික් සැමරුම රුක් රෝපණයට මුල් තැනක් ලබා දෙමින් පැවැත්වීමට නියමිත ය. ඒ පිළිබඳව අදාල පාර්ශවයන් සමග පැවැත්වු සාකච්ඡාවක් දිස්ත්‍රික් ලේකම් /දිසාපති මහින්ද එස් වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) දින පෙරවරුවේදී දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.


මෙවර කෑගල්ල දිස්ත්‍රික් සැමරුම කෑගල්ල නිදහස් මාවත මුල් කරගෙන පැවැත්විමට නියමිත ය. ඒ සඳහා අවශ්‍ය ජලය, විදුලිය, සනීපාරක්ෂක කටයුතු ඇතුළු යටිතල පහසුකම් සපයා ගැනීම, ආචාර පෙළපාලි සඳහා පාසල් ළමුන් යොදා ගැනීම , සංස්කෘතිකාංගයන් යොදා ගැනීම සම්බන්ධයෙන් අදාල පාර්ශවයන් සමග මෙහිදි සාකච්ඡා කෙරිණි.


නිදහස් දින උත්සවය ප්‍රධාන ජාතික උත්සවයක් බැවින් අදාල අංශයන් තම තමන්ට පැවරෙන වගකිම හැකි උපරිමයෙන් ඉටු කර උත්සවය සාර්ථක කර ගැනීමට කටයුතු කරන ලෙස දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා මෙහිදි වැඩි දුරටත් පැවසීය.


මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් ( පාලන) චරිතා ඉලංගකෝන්, අතිරේක දිස්ත්‍රික් ලේකම් ( ඉඩම් හා සංවර්ධන) දිනීෂා එස් රත්නායක, කෑගල්ල ප්‍රාදේශිය ලේකම් කේ. ජී.එස්. නිශාන්ත යන මහත්ම මහත්මින් පළාත් සභා අධ්‍යාපන අධ්‍යක්ෂ,කළාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඇතුළු විදුහල්පතිවරුන්, පොලිස් නිලධාරින්, හමුදා නිලධාරීන්, කෑගල්ල දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන වල ප්‍රධානීන් ඇතුළු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරින් පිරිසක් සහභාගී වුහ.