වැඩිහිටි පරම්පරාවේ නිරෝගීභාවය ආරක්ෂා කර ගනිමින් සමාජයට වැය බරක් නොවී රටේ සමාජ ආර්ථික සංවර්ධනයට දායකත්වය ලබා දීමට වැඩිහිටියන්ට හැකියාව පවතින බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කේ. ජී. එස්. නිශාන්ත මහතා සඳහන් කළේය. ජාත්‍යන්තර වැඩිහිටි දිනය සැමරීම වෙනුවෙන් අද (21) පැවති “දෙටුවර අභිමන් – 2026” කෑගල්ල දිස්ත්‍රික් වැඩිහිටි දින සැමරුම් උත්සවයට සහභාගී වෙමින් දිස්ත්‍රික් ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේය.
වැඩිහිටියන්ගේ නිරෝගීභාවය හා යහපැවැත්ම පවත්වාගෙන යාම සඳහා ක්‍රියාශීලීව කටයුතු කිරීමේ වැදගත්කම ද ඒ මහතා අවධාරණය කළේය. ඒ සඳහා සහාය ලබා දෙමින් වැඩිහිටියන් සමාජයේ සක්‍රීයව දායක කර ගැනීමට වැඩිහිටි බල මණ්ඩල ඉටු කරන වැදගත් කාර්යභාරය ද ඒ මහතාගේ ඇගයීමට ලක් විය.
දිස්ත්‍රික්කයේ විවිධ වැඩිහිටි බල මණ්ඩල නියෝජනය කරමින් සහභාගී වූ දෙටු පුරවැසියන්ගේ විවිධ රංගන, ගායන හා සාම්ප්‍රදායික නර්තන දක්ෂතා “දෙටුවර අභිමන්” වේදිකාව මත ඉතා විචිත්‍රවත් අයුරින් ඉදිරිපත් කෙරිණි.
එමෙන්ම, මෙම වැඩසටහනේදී ඇගයීම් හා ප්‍රශංසා වැඩසටහන් රැසක් ද පැවැත්විණි. ඒ අතර සක්‍රීය ග්‍රාමීය කමිටු සහ ප්‍රාදේශීය වැඩිහිටි බල මණ්ඩල ඇගයීම, “ගී දැහැන” කවි මඩුවට සහභාගී වූ කවියන් ඇගයීම, “සත්යාලෝක” පොසොන් කලාපයේ බැති ගී ඉදිරිපත් කළ ගායක ගායිකාවන් ඇගයීම, කාන්තා දින වැඩසටහනේ චරිත නිරූපණ ඉදිරිපත් කළ ශිල්පීන් ඇගයීම සහ “තත් හැඩවුණි – තතක් බිඳුණි” වේදිකා නාට්‍යයට දායක වූ රංගන ශිල්පීන් ඇගයීම සිදු කෙරිණි.
“දිගු හා නිරෝගී ජීවිතයක් සඳහා අපගේ ක්‍රමවේද පිළිබඳව නැවත සිතා බලමු”



































