දැක්ම

කෑගල්ල දිස්ත්‍රික්කය ආසියාවේ හොඳම ජනාවාසය බවට පත්කිරීම.

මෙහෙවර

දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන්ගේ ආකල්පමය වෙනසක් ඇති කරමින්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය දිවයිනේ විශිෂ්ඨමත ආයතනය බවට පත්කරගනිමින් දිස්ත්‍රික්, පළාත් හා ජාතික මට්ටමේ ආයතන සම්බන්ධීකරණය කරගනිමින් දිස්ත්‍රික්කයේ පවතින අගයන් සමතික්ක්‍රමණය කරමින් දිස්ත්‍රික්කය තිරසාර සංවර්ධනය කරා ගෙන යාම අපගේ මෙහෙවරයි
 
අගයන් 
* සහභාගිත්ව ක්‍රමවේදය තුළින් තීරණ ගැනීම
* ආචාරශීළී හා සුහදශීලී සේවය
* ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සහ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ට ප්‍රමුඛතාවය ලබාදීම
* කණ්ඩායම් හැඟීමෙන් කටයුතු කිරීම.
* පරිසර හිතකාමී කාර්යාල පරිශ්‍රයක් ඇති කිරීම.
* උපරිම පාරිභෝගික සත්කාරය සමඟින් සේවාලාභීන් අමන්දානන්දයට පත්කිරීම.

කෑගලුපුර ගැන තතු විමසන්නෙකුට තොරතුරු බිඳක්...............

    අප පෞඪ ඉතිහාසයක උරුමකරුවෝය............

නේක විධ සැප සම්පත්වලින් ආඪ්‍ය වූ අනභිභවනීය කෑගලු දිසා‍වේ ඓතිහාසිකත්වය ප්‍රාග් ඓතිහාසික යුගය දක්වා දිවයන්නකි. පාෂාණ යුගයේ සිට අද්‍යතන යුගය දක්වා මෙම දිස්ත්‍රික්කයෙහි පෞරාණික ශ්‍රී විභූතිය විදහා දැක්වෙන ඓතිහාසික මූලාශ්‍ර දිස්ත්‍රික්කය පුරා විද්‍යාමාන වේ. මෙම පුරයේ ඉපැරණි බව කොතෙක්ද යත් ,අදින් වසර 28000 කට පූර්ව මානව සාධක හමුවන බෙලි ලෙන ඇතුලුව දොරවක ලෙන, අලුලෙන ,අස්මඩල ,පදවිගම්පොල බතලේගල, ලෙනගල ,අම්බලකන්ද ,හැලමඩ ,හීනටිපාන ,උතුවන්කන්ද ,බෙලිගල ,සැලව ,යටහලෙන ,සල්ගල හා කැලෑ දඹුල්ල ආදී ස්ථානයන්හි ශේෂිත පුරාවිද්‍යාත්මක සාධක දෙස් දෙයි. දිස්ත්‍රික්කයේ ග්‍රාමනාම විවරණයේදී කෑගලු පුරවරයේ ඓතිහාසික පදනම පිළිබඳව පුළුල් පර්යේෂණාත්මක විග්‍රහයක නියලුණු එච්.සී.පී.බෙල් මහතාගේ කෑගලු වාර්තවේ මෙසේ සනිටුහන් වී තිබුණි.

“වළගම්බා රජු ස්වකීය රාජ්‍ය පාලන සමයේ ලක්දිව ආක්‍රමණය කළ ද්‍රවිඩ සතුරන් පරාජය කිරීමේ අටියෙන් සේනා සංවිධානය කරන්නට විය. රට සිසාරා තැනින් තැන ගිය ගමනේදී දිනක් දඹුල්ලේ සිට දනගිරිගල ,ඇකිරියගල හරහා සල්ගලට යන අතරමගදී ගල් තලාවක නැවතී ගිමන් හැරියේය. ඉසිඹුලූ රජු යළිත් ගමන් අරඹන්නට විය. අතරමගදී බුලත් විටක් සපන්නට අවැසි වී රන් ගිරය සහිත පසුම්බිය විමසද්දී ‘කෑගල’ මත අමතක වූ බව සිහිපත් විය. එතැන් පටන් කෑගල ක්‍රමික විකශනයේ ප්‍රතිඵලයක් ලෙස ‘කෑගල්ල’ වූ බව ජනප්‍රවාදයෙහි සඳහන් වේ.”

වත්මන් කෑගල්ල දිස්ත්‍රික්කය අතීතයේ රුහුණු ,මායා ,පිහිටි යන ත්‍රිසිංහලයේ මායා රටට අයත් ප්‍රදේශයකි. සිංහල රාජ්‍ය පාලන අවසාන භාගයේදී සහ ඉංග්‍රීසි පාලන සමයේදී සතර කෝරළය ,තුන් කොරළය හා පාත බුලත්ගම යන කොට්ඨාස තුනකින් හැඳින්වූයේද කෑගල්ල දිස්ත්‍රික්කයයි. වර්තමානයෙහි සබරගමු පළාතට අයත් වන්නා වූ දිස්ත්‍රික් දෙක අතුරින් එක් දිස්ත්‍රික්කයක් ලෙස කෑගල්ල සරලව හැඳින්විය හැක.

    අප මෙසේ ස්ථාපිත විය...........

දිස්ත්‍රික් කිහිපයක් චක්‍රාවාටයක් සේ වටකොට ගෙන මධ්‍යස්ථයේ සුරක්ෂිත ලෙස කෑගල්ල දිස්ත්‍රික්කය පිහිටා ඇත. උතුරින් කුරුණෑගල දිස්ත්‍රික්කයද, බස්නාහිරින් ගම්පහ හා කොළඹ දිස්ත්‍රික්ක වලින්ද, දකුණින් රත්නපුර දිස්ත්‍රික්කයද නැගෙනහිරින් මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්ක වලින්ද මායිම් වේ. වර්තමානයෙහි කෑගල්ල දිස්ත්‍රික්කය ,රඹුක්කන,මාවනැල්ල ,ගලිගමුව ,රුවන්වැල්ල ,දෙහිඹ්විට ,දැරණියගල, අරණායක ,යටියන්තොට ,කෑගල්ල,බුලත්කොහුපිටිය හා වරකාපොල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස එකොළහකින් සමන්විතය.කි.මී.48 ක් පමණ වූ උතුරු දකුණු විහිදීමකින්ද කි.මී.32 ක් පමණ වූ නැගෙනහිර හා බස්නාහිර විහිදීමකින්ද යුත් මෙම  ප්‍රදේශය වර්ග කි.මී.1663 (ව.සැ.645) ක විශාලත්වයකින් යුක්තව ව්‍යාප්තව ඇත. භූගෝලීය වශයෙන් උතුරු අක්ෂාංශ 6.50 - 7.20 සහ නැගෙනහිර දේශාංශ80.10 - 80.35 අතර පිහිටා තිබේ.

    විවිධ විෂමතාවයෙන් අනූන එකම අඩවියක්.................

ශ්‍රී ලංකාවේ ප්‍රධාන භූවිෂමතා කලාප බෙදීම් අනුව කෑගල්ල දිස්ත්‍රික්කය විවිධ වූ භූවිෂමතාවයන් දක්නට ලැබේ. ඒ අනුව ප්‍රධාන වශයෙන් මධ්‍ය අඩතැනි කලාපයටත් කඳුකර  ප්‍රදේශයටත් අයත් වන අතර එම  ප්‍රදේශවල භූරූපණ ලක්ෂණ වලින්ද සමන්විතය. බටහිර සිට නැගෙනහිර දෙසට නැගී යන මෙහි උන්නතාංශය මුහුදු මට්ටමෙන් මීටර් 50 සිට 1800 දක්වා වේ. සමස්ථයක් වශයෙන් ගත් කල මෙම  ප්‍රදේශයෙහි බටහිර අර්ධය ගංගා නිම්න වලින් ගහණ වූ තරමක් පහත් තැනිතලාවකිනුත් නැගෙනහිර අර්ධය මධ්‍ය කඳුකරයේ බටහිර බෑවුමේ ඇති උස් බිම්වල පාමුල් කඳුවැටි වලිනුත් යුක්ත වේ. පහත් බිම් ප්‍රදේශයට කෑගල්ල ,රඹුක්කන ,වරකාපොල ,රුවන්වැල්ල ,දෙහිඹ්විට යන කොට්ඨස අයත් වේ. නැගෙනහිර උස් බිම්වලට මාවනැල්ල ,අරණායක ,බුලත් කොහුපිටිය,යටියන්තොට හා දැරණියගල යන කොට්ඨාස අයත් වේ. ප්‍රදේශයේ ඉහළම උන්නතාංශය ඇත්තේ ගිණිකොණ දිග කෙළවරේ ඇති දැරණියගල ප්‍රදේශයේය.

කෑගලු දිස්ත්‍රික්කය ජලවහන පද්ධති දෙකකින් සංයුක්ත වේ. එනම් කැළණි ගඟ හා මා ඔයයි. ප්‍රදේශය පුරා පිහිටි ආයතගාමී නිම්න ඔස්සේ ගලා එන ශාඛා ප්‍රශාඛා ගංගා ඔස්සේ ප්‍රධාන ජලවහන පද්ධති දෙක පෝෂණය ලබයි. උතුරින් පිහිටි ගුරුගොඩ ඔයද දකුණින් පිහිටි සීතාවක ගඟද මෙම ප්‍රදේශය තුළදීම කැළණි ගඟට එකතු වේ. හිගුල් ඔය සහ රඹුකන් ඔය ප්‍රදේශය තුළදී ශාඛා ජලවහන පද්ධතීන් ලෙස මා ඔයට සම්බන්ධ වේ.

    සුවදායකව දිවිගෙවන්නෙකුට හොඳම තැනක්.................

හිතකර දේශගුණයකින් සංයුක්ත වූ කෑගලු දිසාව නිරිත දිග තෙත් කලාපයට අයත්වන්නකි. අධික වූ වර්ෂාපතනයක් මෙන්ම ප්‍රමාණික සූර්ය තාපයක්ද ලැබෙන මෙම ප්‍රදේශය සුවදායකව දිවිගෙවන්නෙකුට හිතකර පරිසරයකි. දිවයිනට බලපාන මෝසම් සංවහන හා වාසුලි යන සියලුම ක්‍රම වලින් වාර්ෂිකව මි.මී.2500-3000 දක්වා වර්ෂාපතනයක්ද ලැබීම මෙම ප්‍රදේශයෙහි දේශගුණයේ සුවිශේෂත්වය ප්‍රකට කරන්නකි. ප්‍රදේශයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙ.25.7 හෙවත් පැරන්හයිඩ් 78.4 ක් වන අතර එය ලංකාවේ සාමාන්‍ය උෂ්ණත්වයෙන් පැ.1.6 ක් අඩු තත්වයකි.

    සාර වූ ආර්ථිකයක්........................

සරුසාරවත් භූමිභාගයක වෙසෙන කෑගලු වැසියෝ ස්වකීය ජීවිතය සරිකර ගැනීම වස් කෘෂිකර්මාන්තය ප්‍රධාන ජීවනෝපාය ලෙස යොදා ගැනෙති. නිරිත දිග තෙත් කලාපයේ සාරවත් භූමිභාගය වන කෑගලු දිසාවේ රබර් ,තේ ,පොල් යන ප්‍රධාන භෝග ත්‍රිත්වයට අමතරව කරාබු, ගම්මිරිස් ,කෝපි ,කොකෝවා ආදී අවශේෂී සුළු අපනයන භෝග වගාව සඳහාද යෝග්‍ය ප්‍රදේශයකි. රබර් වගාව සඳහා ලක්දිව සුපතල දිස්ත්‍රික්ක අතර කෑගල්ල සුවිශේෂී වන අතර දැනට වගාබිම් වලින් 33% ක් රබර් වගාව සඳහා යොදා ගෙන ඇත. හෙක්ටයාර් 11600 ක භූමි වපසරියක වී වගා කෙරෙන අතර ප්‍රධාන ගංගා නිම්න හැරුණු විට ආයතගාමී නිම්න වලද ව්‍යාප්ත වී ඇති කුඹුරු එම ගංගා වලින් ගෙනෙන රොන් මඩ වලින් සාරවත් පස නිසාම වී වගාවෙන් ඉහළ අස්වැන්නක්ද ලබයි. නමුදු ප්‍රධාන ලෙස අහස් දියෙන් යල මහ දෙකන්නයේම ගොවියෝ වී වගා කෙරෙති.

භවභෝග වගාවට සාරවත් වූ කෑගලු බිම ප්‍රධාන ඛනිජ සම්පත් උත්පාදිත නිජබිමකි. ලොව දියුණු කාර්මික රටවලට අපනයන කරන මිනිරන් අවශ්‍යතාවයෙන් අර්ධයකටත් වඩා සපුරාලන්නේ මෙම දිස්ත්‍රික්කය තුළ පිහිටි සුවිසල් බෝගල පතලෙනි. කැලණි ගඟ අශ්‍රිත නිම්න වල සිදුකෙරෙන මැණික් කර්මාන්තය දිස්ත්‍රික්කයේ ආර්ථික සමෘද්ධිය උදෙසා සැලකිය යුතු දායකත්වයක් ලබාදෙයි.

    භේද නොවී සතුටින් සුජීවත්ව ඉන්නෙමු................

ජාතික හා ආගමික සහජීවනයේ කේන්ද්‍රස්ථානයක් වන කෑගලු දිස්ත්‍රික්කයේ සිංහල ,දමිළ ,මුස්ලිම් සහ අවශේෂී සුළු ජාතීහුද මිත්‍රශීලීව ජීවත් වෙති. වර්ෂ 2011 ජන සංගණනයට අනුව දිස්ත්‍රික්කය තුළ සමස්ත ජනගහනය 839493 කි.

භාෂාත්මක ලෙස සුවිශේෂි අනන්‍යතාවක් කෑගලු පුරවැසියනට ඇති බවද කිව මනාය. ලක්දිව හතර කෝරළය ඊටම සුවිශේෂී භාෂා කලාපයක් වන අතර කෑගල්ල කේන්ද්‍ර කොටගෙන විහිදී පවත්නා වෙසෙස් වාග් මාලාවකටද උරුමකම් කියයි.

කෑගලු පුරය බහුවිධ ජාතීන්ගේ වාසභූමියක් නිසා ඔවුන් අදහන ආගම් හා දර්ශනයන්ද බොහෝය. බහුතරය සිංහල වන නිසාම ජන සංයුතියෙන් 84.71% ක් පිරිස බෞද්ධාගමිකයෝ වෙති. මෙයට අමතරව හිංදු ,ඉස්ලාම් ,ක්‍රිස්තියනි ,රෝමානු කතෝලික හා වෙනත් ආගම් භක්තිකයෝද ආගමික සහජීවනයෙන් දිවි ගෙවති. බෞද්ධාගමික වශයෙන් සුපතල ලක්දිව අවසන් රහතන් වහන්සේ වන මලියදේව හිමි වැඩ විසු වට්ටාරම රජමහා විහාරය ,උඩව පුරාණ විහාරය ,දැදිගම රජමහා විහාරය ,යටහලෙන පුරාණ රජමහා විහාරය ,දනගිරිගල රජමහා විහාරය ,දැලිවල කොටවෙහෙර ආදී පෞරාණික විහාරස්ථාන සේම අලුත් නුවර ශ්‍රී දැඩිමුණ්ඩ දෙවොලද ඓතිහාසික සීතාවක බැරැන්ඩි කෝවිල ද කෑගලු දිශාවට අයත් වූ ලක්වැසි බැතිමතුන්ගේ වන්දනයට පාත්‍ර වූ සිද්ධස්ථානයන්ය. බුදු සසුනෙහි මතු චිරස්ථිතිය උදෙසා ඇප කැප වී කටයුතු කළ වැලිවිට සංඝරාජ හිමි ප්‍රමුඛ ශිෂ්‍යානුශිෂ්‍ය යතිවරයාණන් වහන්සේලා වැඩ සිටි පුන්‍ය භූමිය වූයේද කෑගලු දිසාවයි.

    ලොවම මවිත කළ අපේ කලාව................

ඕනෑම ජන සමාජයක අක්මුල් සොයා ගවේෂණයක යෙදෙන අයෙකුට එම ප්‍රදේශයට අනන්‍ය වු සංස්කෘතික වපසරිය විමසීම අතිශය වැදගත් වේ. ඒ අනුව කෑගලු දිසාවෙහි මුල් අවධියේ සිට පැලපදියම් වී ඇති ඇදහිලි හා විශ්වාසයන් මෙන්ම ඒවා හා බැඳුණු පූජා විධි රටා ,පූජා කර්ම ,නර්තන ලීලාවන් හා චිත්‍ර මූර්ති ආදිය සොයා බැලීම සංස්කෘතිකමය වශයෙන් බොහෝ තතු හෙළිදරව් වීමකි.උඩරට නර්තන සම්ප්‍රදායේ කෝෂ්ඨාගාරය ලෙස සැලකෙන කොහොඹාකංකාරියෙහි උපත හා පැවැත්ම පිළිබඳව ඓතිහාසික තොරතුරු රැසක් සතර කෝරළයට අයත් බව ප්‍රත්‍යක්ෂමාන වේ. එනිසාම දේශීය නර්තනය හා ශාන්තිකර්ම යන විෂයද්වය පිළිබඳ තොරතුරු විමසීමේදී කෑගලු පුරයට ප්‍රමුඛ ස්ථානයක් හිමිවේ. එනයින් පාරම්පරික නර්තන ශිල්පී පරපුරවල් ගණනාවක් අද්‍යතනයේත් ස්වකීය පාරම්පරික උරුමය සුරකිමින් සංස්කෘතිකමය මෙහෙවරක යෙදෙති. ඒ අතර දීවෙල ,උඩගම , මාකූර ,මුද්ධනාව ,දෙවනගල ,දෙහිමඩුව ,හාල් මැස්ස ,හේරත්ගම ,අල්ගම ,ගල්අතර ,එලමල්දෙනිය ,කොටවැල්ල ,බුදවත්ත හා හිග්ගොඩ ආදී නර්තන ශිල්පි පරපුරවල් දැක්විය හැක.

පාරම්පරික නර්තන කලාවට මතු නොව සකල විධ කලා ශිල්ප වලින් පරිපූර්ණ කෑගලු දිසාව චිත්‍ර මූර්ති හා කැටයම් ආදී කලාවන්ට සුපතලය. සතර කෝරලය එකම කෞතුක මධ්‍යස්ථායක් බවට හැඳින්විය හැක්කේ දෙවනගල ,වාකිරිගල ,දනකිරිගල ,දැදිගම ,අම්බුළුගල ,කෑලෑ දඹුල්ල ,සැලව ,යටහලෙන ,කරඬුලෙන ,ලෙනගල ආදී පෞරාණික වූත් ඓතිහාසික වූත් පූජනීය ස්ථානවල ඇති චිත්‍ර ,මුර්ති හා කැටයම් මේ දක්වා ශේෂිත වීඇති නිසාමය. දහඅටවන සියවසේ ඇති වු සංස්කෘතික පුනර්ජීවනය හා සබැඳි සිත්තර පරපුරට අයත් දෙවරගම්පල සිල්වත්තැන සතර කෝරළය තුළ සුජීවත්ව විසූවෙකි.  අද්විතීය දෙවරගම්පල සිල්වත් තැනගේ කලා පරපුර හැරුණුකොට නීලවල පරපුර (මංගලගම කලා පරපුර) ,මැදගොඩ මහදුර ‍ගෙදර සිත්තර පරපුර ,වේකොළදෙණිය කලා පරපුර කලාකෙත අස්වැද්දීම වස් විසල් මෙහෙවරක නියුතු වූවෝය. කලා කෙත දිග් විජය කළ කලාකරුවෝ රැසක් ජාතියට තිළිණ කළ පුරවරයක් ලෙස කෑගල්ල සුපතලය. අයිරාංගනී සේරසිංහ ,සුමින්ද සිරිසේන ,එඩ්වඩ් ජයකොඩි ,නන්දා මීගස්තැන්න ,රූකාන්ත ගුණතිලක ,රාජු බණ්ඩාර ,අශෝක හඳගම ,දුලීකා මාරපන ,ඩේසි මුණසිංහ ,ආරියවංශ රණවීර ආදී කලාකරුවෝ මේ අතරින් කිහිපදෙනෙකි.

    රට කරවන්නට අපෙන් සවියක්.............

රට කරවූ ශ්‍රේෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකයෝ රැසකගේ දේශපාලන නිජබිම වූයේද ඓතිහාසික කෑගලු පුරයයි. රට එක්සේසත් කළ මහා පරාක්‍රමභාහු රජුගේ ජන්ම භූමිය වූයේද ,පළමුවන විජයබා ,වළගම්බා ආදී ‍ශ්‍රේෂඨ නරපතීන්ට රට පාලනය කිරීම උදෙසා ප්‍රබල දායකත්වයක් දැක්වූ ප්‍රදේශයක් ලෙස කෑගල්ල ඉතිහාසගත වී ඇත. 1948 පසු යුගයේ දේශපාලන කරලියෙහි නම රැන්දූ අසාහය දේශපාලඥයෝ රැසක් කෑගලු පුර ස්වකීය දේශපාලන නිජබිම කර ගත්හ. ඩඩ්ලි සේනානායක ,ඇන්.ඇම්.පෙරේරා ,ෆැන්සිස් මොලමුරේ ,පී.බී.බාලසූරිය ,ජී.බී.පී.කලුගල්ල ,අශෝක කරුණාරත්න ආදීහු දේශපාලන ක්ෂේත්‍රයේ කෑගලු පුර නියෝජනයේ පුරෝගාමීහු වූහ.

    අපි මෙසේ නැඟී සිටියෙමු.................(අද)

වත්මනෙහි කෑගලු පුර කොයිබටද යන්න විමසීමේදී වෙසෙස් අවධානයකට නතු වූ දිස්ත්‍රික්කයක් ලෙස හැඳින්වීම යෝග්‍ය වේ. ප්‍රදේශය පුරා පවත්නාවූ සෞන්දර්ය විචිත්‍රතාව නිසාත් සංවර්ධනය කරා කඩිනමින් පියමනින භූමි ප්‍රදේශය නිසාත් මානුෂීය ගුණාංගයන්ගේ පූර්ණ වූ සුහදශීලි මානව ප්‍රජාව නිසාත් ලොව අවධානයට හා ප්‍රසංසාවට පාත්‍ර වූ සංචාරක පුරවරයක සේයාව ගනී. අසුපිනි ඇල්ල ,විශාලම පුස්වැල පිහිටි කුරුළු කැලේ ,ආකර්ශනීය කිතුල්ගල ජල තෙප්පම ,පින්නවල අලි අනාථාගාරය ,ඉදිවන සත්වෝද්‍යානය මේ සඳහා කදිම සනිදර්ශන වේ. ඒ අනුව බැලු කල්හි කෑගලු පුර වනාහි රටක් තුළ පිහිටි රාජ්‍යයක් වන් භූමි භාගයකි.

දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ නාම ලේඛනය