රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගෙන් ඉටුවන්නේ අතිමහත් දායකත්වයකි. විදේශගත ශ්‍රමික ප්‍රජාව විදේශ ප්‍රේෂණ මඟින් මෙරට ආර්ථිකයට දායකත්වය ලබා දෙන්නා සේම, රටේ ආර්ථික ව්‍යුහයේ කොඳු නාරටිය බඳු මෙම ව්‍යවසායකයින් ද රටට ඉමහත් සේවාවක් ඉටු කරනු ලබයි.

එවැනි රටට ආර්ථික වශයෙන් වැදගත් වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (26) දින කෑගල්ල පළාත් පාලන කොමසාරිස් කාර්යාලයේ රැස්වීම් ශාලාවේදී කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කේ. ජී. එස්. නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

කෑගල්ල දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස නියෝජනය කරමින් සහභාගී වූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සහ විභව අපනයනකරුවන් අපනයන ක්‍රියාපටිපාටි, ලේඛන කටයුතු, මිලකරණය, පිරිවැය ගණනය කිරීම සහ අපනයන මූල්‍යකරණය පිළිබඳව දැනුවත් කිරීම මෙහිදී සිදු කෙරිණි.

වැඩසටහන ආරම්භයේදී පිළිගැනීමේ කතාව සිදු කරමින් දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේ මේ වන විට රටේ සෑම දිස්ත්‍රික්කයකම දිස්ත්‍රික් කර්මාන්ත සභා පිහිටුවා ඇති බවයි. කෑගල්ල දිස්ත්‍රික්කය තුළ ද මෙවැනි ව්‍යවසායකයින් විශාල පිරිසක් බිහි කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත්, දැනට සිටින අපනයනකරුවන් ආරක්ෂා කර ගනිමින් ඔවුන් තවදුරටත් ශක්තිමත් කිරීම ඉතා වැදගත් බවත් එතුමා අවධාරණය කළේය.

එමෙන්ම, අපනයන කර්මාන්තය ඇතුළු දිස්ත්‍රික්කයේ අනෙකුත් කර්මාන්ත සංවර්ධනය කිරීමේ අරමුණින් දිස්ත්‍රික් කර්මාන්ත සභාව පිහිටුවා ඇති බවත්, කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයින් මුහුණ දෙන ගැටලු හා අභියෝග සාකච්ඡා කර ඒවාට සුදුසු විසඳුම් ලබාදීම එහි ප්‍රධාන අරමුණ බවත් දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරන ලද මෙම එක්දින වැඩමුළුවේ සම්පත් දායකයින් ලෙස ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ මහනුවර මධ්‍යම පළාත් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජේ. එච්. ටී. කේ. ජයලත් මහතා සහ සහකාර අධ්‍යක්ෂ එම්. එස්. එම්. ෆාහිම් මහතා සහභාගී වූහ.

එහිදී නියෝජ්‍ය අධ්‍යක්ෂ ජේ. එච්. ටී. කේ. ජයලත් මහතා විසින් “මිලකරණය, පිරිවැය ගණනය කිරීම සහ අපනයන මූල්‍යකරණය” යන මාතෘකාව යටතේ දේශනයක් පැවැත්වූ අතර, සහකාර අධ්‍යක්ෂ එම්. එස්. එම්. ෆාහිම් මහතා විසින් “අපනයන ක්‍රියාපටිපාටි සහ ලේඛන කටයුතු” යන මාතෘකාව යටතේ දැනුවත් කිරීමක් සිදු කරන ලදී.

මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජේ. එච්. ටී. කේ. ජයලත් මහතා සඳහන් කළේ, දැනට මෙරට අපනයනකරුවන් 4,500ක පමණ පිරිසක් රටේ ආර්ථිකයට දායකත්වය ලබාදෙන බවයි. එයින් 10%ක පමණ ප්‍රතිශතයක් නියෝජනය කරන මහා පරිමාණ අපනයනකරුවන් 453 දෙනෙකු රටේ ආර්ථිකයට සුවිශාල දායකත්වයක් ලබාදෙන බව ද එතුමා පෙන්වා දුන්නේය.

එමෙන්ම, අපනයන ක්ෂේත්‍රයේ ඉතිරි 90%ක පමණ පිරිසක් නියෝජනය කරන සුළු හා මධ්‍ය පරිමාණ අපනයනකරුවන් 4,000ක පමණ පිරිස විසින් එම ක්ෂේත්‍රයේ ඉතිරි 10%ක ආර්ථික දායකත්වය ලබාදෙන බව ද එතුමා වැඩිදුරටත් සඳහන් කළේය.

සුළු හා මධ්‍ය පරිමාණ අපනයනකරුවන්ගේ අපනයන දායකත්වය ඉහළ නැංවීම සහ ඔවුන්ගේ තරගකාරීත්වය වර්ධනය කිරීම සඳහා අවශ්‍ය දැනුම හා කුසලතා ලබාදීමේ අරමුණින් වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරගෙන යන බව ද එතුමා පැවසීය. ඒ අනුව, සෑම වසරකම තෝරාගත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සහ විභව අපනයනකරුවන් වෙනුවෙන් දැනුවත් කිරීමේ වැඩසටහන් පහක් පැවැත්වීමට කටයුතු කරන බව ද සඳහන් කළේය. ඉදිරියේදී පැවැත්වීමට නියමිත අනෙකුත් වැඩසටහන් සඳහා ද සහභාගී වන ලෙස එතුමා මෙහිදී සහභාගී වූ පිරිසට ආරාධනා කළේය.

මෙම අවස්ථාවට කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) දිලිප් නිශාන්ත මහතා සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල අපනයන සංවර්ධන නිලධාරීන් ද සහභාගී වූහ.

දිස්ත්‍රික් අපනයන සංවර්ධන නිලධාරී ඒ. කේ. කෞශල්‍යා ජයවර්ධන මහත්මිය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල අපනයන සංවර්ධන නිලධාරීන් එක්ව මෙම වැඩමුළුව සංවිධානය කර තිබිණි.